ග්‍රේට් වෙස්ටර්න් හයිකින් සහ කෑම්පින්

ග්‍රේට් වෙස්ටර්න් කියන්නේ ලංකාවේ තියෙන ලස්සනම දුම්රිය ස්ථාන කිහිපයෙන් එකක්. දුම්රියෙන් විතරයි මේ දුම්රිය ස්ථානයට පිවිසීමට හැකියාව පවතින්නේ. කොළඹ-බදුල්ල දුම්රිය මාර්ගයේ කොළඹ ඉඳලා යනවනම් වටගොඩ දුම්රිය ස්ථානයෙන් පසුව තියෙන දුම්රිය ස්ථානය තමා ග්‍රේට් වෙස්ටර්න් . කොළඹ ඉඳලා 200km විතර දුරකින් තමා මේ සුන්දර දුම්රිය ස්ථානය පිහිටලා තියෙන්නේ. කොළඹින් රාත්‍රී 8ට පිටත්වෙන රාත්‍රී තැපැල් දුම්රියෙන් ගමන ආරම්භ කලාම පාන්දර 3.00 – 3.30 අතරදී ග්‍රේට් වෙස්ටර්න් වලට එන්න පුළුවන්. දුම්රිය ස්ථානයේ සේවය කරන සේවක මහත්මයෙක් එක්ක කතා කරලා මගී විවේකාගාරයේ දොර ඇරගෙන පහුවදා උදේ වෙනකම් පොඩි නින්දක් එහෙම දාන්න පුළුවන්. ඒ වගේම දුම්රිය ස්ථානයේ වැසිකිලියත් පාවිච්චි කරන්න පුළුවනි.

මේ දුම්රිය ස්ථානය පිටුපස තමා ලංකාවේ 6 වෙනි ස්ථානයට උසම කන්ද වෙන ග්‍රේට් වෙස්ටර්න් කන්ද පිහිටන්නේ ( උස 2,212m / අඩි7,257 මෙය 7 වෙනියට උසම කන්ද කියලත් අන්තර්ජාලයේ සටහන් වෙනවා ). කන්ද නගින්න කලින් හැමෝම ශරීර අවශ්‍යතා ඉටුකරගෙන ඉන්න. ඒ වගේම මතක ඇතුව 6 විතර වෙනකොට නැගිටින්න. මොකද ගමන උදෙන්ම පිටත් වෙන තරමට තමා හොඳ. උදෑසන ආහාරය දුම්රිය ස්ථානය අසල නිවසක වෙසෙන මගපෙන්වන්නෙකු වෙන මෝගන් මහත්මයාගෙන් ලබාගන්න පුළුවන්. හැබැයි යන්න කලින් එයාට කෝල් කරලා කෑම ටික ඕඩර් කරන්න නම් ඕනා. ( 077-079 1002 මේක ඇඩ් එකක් නම් නෙමේ ළඟ පාතක කඩයක්වත් නෑ ) උදැසන ආහාරය රුපියල් 100ක් වගේ ගානකට ලබාගන්න පුළුවන් මේ ලිපිය ලියන කාලය වෙනකොටනම්. ඒ වගේම එයා බොහොම හොඳ මනුස්සයෙක් අපි කන්ද නගින්න කලින් සෑහෙන උපදෙස් ටිකක් දුන්නා අපේ ප්‍රවේසම සඳහා. ඒ වගේම කන්ද උඩදී හදිසියක් උනොත් එයාට කතා කරන්න එයා අනිවාර්යෙන්ම එනවා කියල කිව්වා. හදිසි කරදරයක් වෙලා එහෙම ඇවිල්ල සල්ලි ගත්තත් මොකෝ ඝණ කැලයක අසරණ වෙනවට වඩා ඒක හොඳයිනේ. එයා ඒ වෙනකොට මගපෙන්වන්නෙක් හැටියට ග්‍රේට් වෙස්ටර්න් කන්ද 104 වතාවක් නැගල තියෙනව කියල තමා කිව්වේ අපිත් එක්ක. එයාගේ ඒ උපදෙස් හිතේ තියාගෙන මෝගන් මහත්මයට සමු දීලා අපි ගමන පිටත් උණා උදේ 8.30ට වගේ.

දුම්රිය මාර්ගය ඔස්සේ බදුල්ල දිහාවට යන්න ඕනා කන්දට නගින තැන හොයාගන්න නම්. දුම්රිය ස්ථානයේ ඉඳලා 1km වගේ දුරක් ගියාම වම් අත පැත්තේ කෝවිලක නම සඳහන් වෙලා තියෙන බෝඩ් එකක් තියෙනවා. අන්න ඒ මාර්ගය දිගේ උඩට නගින්න ඕනා. ඊට පස්සේ එතනින් දිය පාරක් ගලාගෙන එනවා කන්ද පහලට අන්න ඒ දිය පාර වැටිලා තියෙන ගල් දිගේ උඩට නගින්න ඕනා. ඊට පස්සේ දිය පාර අඩි පාරක් වෙනවා. වියලි කාලයට නම් මේ දිය පාර නැතිවෙලා යන්න පුළුවන් එතකොට ඒක අඩි පාරක් වෙනවා. පාර හොයාගන්න අමාරු වෙන එකක් නෑ. ඉතිං කන්ද නගින්න තියෙන පාර සෑහෙන ලිස්සන සුළු එකක් වගේම වැස්සොත් එහෙම සැහෙන්න කට්ටක් කන්න වෙනවා. කොහොමහරි නැගගත්තා කියමුකෝ. ඒ ලිස්සන පාර දිගේ පහලට බහින එක තමා අමාරුම දේ. ඒ නිසා අනිවාර්යෙන්ම ගමනට ගැලපෙන සපත්තු වගේම හොඳ වැහි කබායකුත්, සීතලට ගැලපෙන ජර්සියකුත් අරගෙන යන්න ගමන යනකොට. ඒ වගේම උඩට නගින්න කලින් අනිවාර්යෙන්ම එක් පුද්ගලයෙක් වතුර ලීටර් 3ක්වත් අරගෙන යන්න ඕනා. කන්ද අතරමගදී දිය දහරක් තියෙනව ඒකෙන් ආයේ වතුර පුරවගන්න පුළුවන් එත් ඊට පස්සේ වතුර පාරක් හොයාගන්න අමාරුයි. ඒ නිසා කෑම්ප් කරන්න යනවනම් අනිවාර්යෙන්ම වතුර අරගෙන යන්න ඇතිවෙන්න. මගදී කන්න චොකලට් වගේම උඩදී ලෙහෙසියෙන්ම කන්න නුඩ්ල්ස්, පාන් වගේ සැහැල්ලු දේවල් අරගෙන යන එක තමා ඇඟට ගුණ. බර ආහාරවලින් වැසිකිලි පහසුකම් උවමනා වෙන්න පුළුවන් වෙන නිසා. මතක ඇතුව වතුර පාවිච්චිය අරපරිස්සමින් කරගන්න ඕනා. ඒ වගේම පිහියක්, කෑම හදාගන්න ඇලුමිනියම් මුට්ටියක්, නැගගන්න අමාරු උනොත් එහෙම පාවිච්චි කරන්න හොඳ හයිය කඹයක් කිහිපයක් ආදී දේවල් අනිවාර්යෙන්ම අරගෙන යන්න.

කන්දේ කෑම්පින් සයිට් දෙකක් තියෙනව. වතුර පාර පහුකරගෙන ටික දුරක් උඩට නගිනකොට තියෙන කෑම්පින් සයිට් එක පලවෙනි එක, කඳු මුදුනේම තියෙන සයිට් එක තමා දෙවැනි එක වෙන්නේ. උඩම සයිට් එක තමා කෑම්පින් වලට වගේම, සුන්දර දර්ශන දැකබලාගන්න අවස්ථාව ලැබෙන ස්ථානය වෙන්නේ. කඳු නැගලා කෑම්ප් ගහල අත්දැකීම් නැති එක්කෙක් හරි කණ්ඩායමේ නැත්නම් කොහෙත්ම තනියම නම් කන්ද නගින්න යන්න එපා. ලියුම්කරු ගිය වෙලාවෙත් පාන්දර 2ට විතර වල් ඌරන් රංචුවක්ම ඇවිල්ල කුඩාරම් වටකරගත්තා. වැස්ස නිසා ගහපු ගිණි මැලයත් නිවිලා තිබ්බ නිසා තමයි උන් කුඩාරම ළඟටම ආවේ. නිහඬව නිසලව කුඩාරම් ඇතුලෙම ඉන්නකොට උන් යන්න ගියා ටික වෙලාවකින්. කලබල කරලා කෑගැහුව නම් උන් කලබල වෙලා කුඩාරම්වලටත් ඇතුලේ හිටිය අයටත් හානියක් වෙන්න තිබ්බ. මෝගන් කියන විදියට කන්දේ කොටි ඉන්නවා. ගෝනුන්ගේ අඩි සටහන් එහෙම දකින්න ලැබුනා අපිටත්. ඉතිං වල් ඌරන්, ගෝනුන් ඝහනය පාලනය කරන්න සොබාවධර්මයා අනිවාර්යෙන්ම විලොපිකයෙක්ව නිර්මාණය

කරනවනේ. ඒ නිසා බොහොම පරිස්සමින් කටයුතු කරන්න ඕනා. කිසිම වෙලාවක් තනියම කුඩාරමෙන් එලියට යන්න හොඳ නෑ සුළුදිය බාන්නවත් 😛 ඉතිං කට්ටිය හරියට වෙලාවට උඩහට නැගගත්තොත් කොළඹ ඉඳලා එන පොඩි මැණිකේ දුම්රියත් බදුල්ලේ ඉඳලා එන පොඩි මැණිකේ දුම්රියත් කියන පොඩි මැණිකෙලා දෙන්නා ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයේදී එකිනෙකාව මුණගැහෙන ආකාරය බොහොම අපුරුවට බලාගන්න පුළුවන්. 12.20ට කලින් නැගගන්න ඕනා කන්ද උඩහට. අවාසනාවට අපිට ඒක බලාගන්න බැරිවුණා මොකද අපි යනකොට කන්ද වහගෙන ඝණ මීදුමක් පැතිරිලා තිබ්බේ. කන්ද නගින්න හොඳම කාලය සිරිපා වන්දනා සමය කියල තමා මෝගන් මහත්මයා අපිට කෑම දෙන ගමන් කිව්වේ. ඒ වගේම දර අවුලවන්න සැහෙන මහන්සියක් දරන්න වෙනවා අඩුගානේ භූමිතෙල් ලීටර් 2.5ක්වත් අරගෙන යන්න. දර හොයාගන්න ලෙහෙසි උනත් ඒ දර හොඳටම තෙත් වෙලා තියෙන්නේ.ඒ වගේම මතක ඇතුව බෙඩ් ෂිට් එකක් අරගෙන යන්න සීතලට පෙරවගන්න. නැත්නම් ඉතිං පොඩ්ඩක්වත් ඇහැ පියාගන්න වෙන්නේ නෑ. අර කිව්ව පොඩි මැණිකේ දුම්රිය මාරුව ගුගල් එකෙන් ගත්ත පොටෝ එකක් දාන්නම්. අපිට ඒක බලාගන්න පින නැතිවුණා :/

ඉතිං පහුවදා පාන්දර 6ට විතර නැගිටලා කාල බිලා අරගෙන ගිය හැම දේම ආයේ මතක ඇතුව අරගෙන එන්න තම තමන්ගේ බැග්පැක් වලට අහුරගන්න. කිසිම දෙයක් කන්ද උඩ දාල එන්න එපා. ඉතාම නිකැළැල් පරිසරයක් මොනම ආකාරයකටවත් වනසන්න එපා. අපි ගිය වෙලාවෙත් දකින්න ලැබුනා අරක්කු බෝතලයක් බිඳලා දාල තියෙනවා කන්ද මුදුනේම තියෙන කෑම්පින් සයිට් එකේ. කිසිම කෙනෙක් ඒ වගේ කාලකන්නියෙක් වෙන්න එපා කියල ඉල්ලා හිටිනවා. ඒ විදියට බොන්න ඕන නම් දුක් විඳගෙන කඳු නගින්න එපා ඒ වියදමෙන් ඒ පැත්තේ තැනකට ගිහින් ඇතිවෙන්න බොන්න පුළුවන් සැපට ඉඳගෙන 😀 ඉතිං කොහොමහරි අපි හැම දේම අකුලන් අස්පස් කරලා දාල 9 වෙනකොට පහලට බහින්න ගත්තා දෙතුන් පලක ෆොටෝ ගහන්න නැවතිලා දෙතුන් පාලක ගිමන් හැරලා එක දිගට පහලට බහින්න ගත්තා. බැස්ස කිව්වට ඇත්තටම සමහර තැන් වලදී පහලට ලිස්සගෙන වැටුනා. සමහර තැන්වලදී අපි මෙතන නැග්ගේ කොහොමද කියල හිතාගන්න බැරි තරම් පාර දුෂ්කරයි. කොහොමහරි කණ්ඩායමේ අවසාන සාමාජිකයා පහලට බහිනකොට 11.30ට පමණ. අපි නැවත කොළඹට පිටත් වෙන්න දුම්රිය 12.20ට ග්‍රේට් වෙස්ටර්න් දුම්රියපළට ලඟා වෙනවා.

අපේ අටදෙනාගේ කණ්ඩායමේ වේගවත් සාමාජිකයින් 4 දෙනා ඉක්මනට පහලට බැහැලා ග්‍රේට් වෙස්ටර්න් කළු පාලම පහලින් ගලාගෙන යන දිය පාරට යන පාර හොයාගෙන පහලට බැහැල නානවා. ඉතින් දෙවැනි 4 දෙනාගෙන් කණ්ඩායමේ හිටිය ලියුම්කරු ඒ කාන්ඩයත් එක්ක එකතු උනා. එතනට යන පාර ග්‍රේට් වෙස්ටර්න් කන්ද බැහැල දුම්රිය පාරට ගොඩ වෙච්ච ගමන් එහෙම්මා අනිත් පැත්තේ තියෙන තේ වත්ත දිගේ පහලට බැහැල හම්බෙන පඩිපෙළ දිගේ පහලට ගිහින් වමට හැරුනම නාන පොට් එකට යාගන්න පුළුවන්. සෑහෙන සිතල වතුර පාරක් තමා ගලාගෙන එන්නේ කන්ද මුදුනේ ඒත් ඉතිං කොච්චර සිතල උනත් වතුර පාරට බැස්ස ගමන් ඇඟේ පතේ අමාරුව කොහෙන් ගියාද කියල නෑ. එතනත් ඉතාම පිරිසිදුවට තියෙන තැනක්. යන කට්ටිය එතනත් ජරා කරලා දාල එන්න එපා කරුනාකරල. අඩුගානේ එතන සබන් කොලයක්වත් තිබ්බේ නෑ.

සාමාන්‍යයෙන් බජට් ට්‍රිප් යන අයට මේ ලිපිය ලියන කාලය වෙනකොට එක පුද්ගලයෙකුට රුපියල් 1500ක් වගේ ගානකින් ගමන ගිහින් කොළඹට එන්න පුළුවන්. එහෙනම් ඉතිං ගමන යන්න හිතං ඉන්න උදවිය කමෙන්ට් එකක් දාල විමසන්න යමක් තියෙනවනම් විමසන්න එහෙම නැත්නම් අපිට මේල් එකක් දාන්න admin@chamathkara.com

කළු පාලම යටට යන පාර සහ ඊට ඉදිරියෙන් ඇති කන්දට නගින පාර

“මතක ඇතිව, පා සටහන් පමණක් තබා ඒමට කාරුණික වන්න”

 

 

 

 

 

 



[Click location pointer and click Get directions]

Get Directions

  show options

 

වැදගත් දුරකතන අංක

[If your Business Near This Location or Your Business Related to this Location Sent your Telephone to us. We will Add that to here Free. ]

Moghan 077-079 1002 – any Help

ඔබේ වෙලද දැන්විම්

[If your Business Near This Location or Your Business Related to this Location Sent your Advertisement to us ]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *